Skip to main content

Northern Provincial Council

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතාගේ හජ් උත්සව සුබපැතුම් පණිවිඩය

ලොව පුරා වෙසෙන මුස්ලිම් සහෝදර සහෝදරියන් ඉමහත් භක්තියෙන් සමරනු ලබන ‘ඊදුල් අල්හා’ හජ් උත්සවය නිමිත්තෙන්, උතුරු පළාතේ වෙසෙන මුස්ලිම් ජනතාව වෙත මාගේ ආදරණීය මෙන්ම හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.

හජ් උත්සවය යනු ඉබ්‍රාහිම් නබිතුමාගේ උදාර පරිත්‍යාගය සහ නොසැලෙන දේව විශ්වාසය සිහිපත් කරන, අතිශය පූජනීය වූත්, ගැඹුරු ආගමික වැදගත්කමකින් යුක්ත වූත් උත්සවයකි. තමන් සතු සෑම දෙයක්ම දෙවියන්වහන්සේගේ කැමැත්ත වෙනුවෙන් කැප කිරීමේ උතුම් මානසිකත්වය මෙම උත්සවය මඟින් ලෝකයට කියා දෙයි.

උතුරු පළාත යනු බහුජාතික හා බහුආගමික ජනතාවක් එකට ජීවත් වන භූමියකි. මෙම ආදරණීය මාතෘභූමිය තුළ, හජ් උත්සවයේ පණිවිඩය වන සහෝදරත්වය, සමගිය, කරුණාව සහ සාමය යන වටිනා ප්‍රතිපත්ති අප සැවොම එක්ව පෙරදැරි කරගත යුතු බව මම ඉල්ලා සිටිමි.

පරිත්‍යාගය සහ දයාව කේන්ද්‍ර කරගත් හජ් උත්සවයේ පණිවිඩය, සමාජ සුහදතාව සහ සාමය වර්ධනය කරන උදාර මඟපෙන්වීමක් බවට පත්වේ. මෙම උත්සව සමයේ දුප්පත්, අසරණ ජනතාවට උපකාර කරමින්, දිළිඳු අයට ආහාර සපයමින්, සැවොම එක්ව සතුටින් සමරන ලෙස මම ඉල්ලා සිටිමි.

යුද සමයෙන් මිදී, උතුරු පළාත සාමකාමී, සාරවත් මෙන්ම සංවර්ධිත පළාතක් ලෙස ගොඩනැඟීමේ ගමනේදී, මෙම පළාතේ සමස්ත ජනතාවම සහෝදරත්වයෙන් යුතුව අත්වැල් බැඳගෙන පෙරට යාම අත්‍යවශ්‍ය වේ. හජ් උත්සවයේ වටිනාකම් මෙම එකමුතුකමට මඟ පෙන්වන ආලෝකයක් වනු ඇත.

මෙම හජ් උත්සවය ඔබ සැමට ප්‍රීතිය, සාමය, සතුට, සෞභාග්‍යය සහ ආශිර්වාදය පිරි සුබ දිනක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ඊද් මුබාරක්! (Eid Mubarak!)