උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති අතර, අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මීළඟ අදියර ලෙස පැවැත්විය යුතු සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් 08.09.2026 අඟහරුවාදා ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් උපාධිධාරීන් 23,344 දෙනෙකු ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා තිබුණි.
අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, විභාග ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබන උපාධිධාරීන් කැඳවීම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි ඇතුළු කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී. මෙම කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කිරීම සඳහා අවශ්‍ය මූලික සූදානම් කටයුතු සිදු කරන ලෙස ආණ්ඩුකාරවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති, ආණ්ඩුකාරවරයාගේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, ප්‍රධාන ලේකම් වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – පරිපාලන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් සහ ආණ්ඩුකාරවරයාගේ සහකාර ලේකම් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.








