සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් වූ කිලිනොච්චි – වවුනියාව මාර්ගයේ ධාවනය වන බස් රථයක අක්‍රමිකතාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව උතුරු පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉංජිනේරු එස්. විමලේශ්වරන් මහතා පවසයි.
අදාළ බස් රථයේ සේවාවන් මෙන්ම මගීන් සමඟ සිදුකළ අශෝභන හැසිරීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල වී තිබූ අතර, ඒ පිළිබඳව අධිකාරිය කිසිදු පියවරක් ගෙන නොමැති බවට ද විවේචන මතු විය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධිකාරිය විසින් අදාළ බස් රථයට එරෙහිව මෙම කඩිනම් පියවර ගෙන ඇත.
පසුගිය 2026.06.30 වන දින අදාළ බස් රථය ධාවනය වන අවස්ථාවේදී මගීන්ට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කෙරිණි. එම විමර්ශන මඟින් පහත සඳහන් වැරදි තහවුරු වී ඇත:
* අනුමත කාලසටහනට අනුව ධාවනය නොකිරීම.
* අනුමත ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් මගීන්ගෙන් අය කිරීම.
* මාර්ග බලපත්‍රයේ සඳහන් මාර්ගය මඟහැර වෙනත් මාර්ගයක ධාවනය කිරීම.
* බස් රථයේ ගමන් ගත් මගීන් සමඟ ගැටුම් ඇති කරගනිමින් අශෝභන ලෙස හැසිරීම.
මෙම වැරදි තහවුරු වීමත් සමඟ අදාළ බස් රථයට දඩ මුදලක් නියම කර ඇති අතර, එදින සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරයාට දින 7 ක සේවා තහනමක් (වැඩ තහනමක්) පනවා ඇත.
එමෙන්ම, අදාළ පැමිණිල්ල පදනම් කරගනිමින් 2026.07.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බස් රථය සඳහා දැඩි කොන්දේසි සහිත නව ක්‍රියාපටිපාටියක් ප්‍රකාශයට පත් කර ඇත.
* කිලිනොච්චි බස් නැවතුම්පොළේ පෙ.ව. 9.20 ට වෙන් කරන ලද ස්ථානයේ නතර කර තබා, ධාවන සටහන් පත්‍රය (Log Sheet) ලියාපදිංචි කර පෙ.ව. 9.50 ට බස් නැවතුම්පොළෙන් පිටත් විය යුතුය.
* පෙ.ව. 9.55 ට කිලිනොච්චි මහා රෝහල අසල පිහිටි වේලාව සටහන් කිරීමේ මධ්‍යස්ථානය පසුකර, පෙ.ව. 11.30 ට වවුනියාව බස් නැවතුම්පොළට ළඟා විය යුතුය.
* වවුනියාවේ සිට ආපසු පැමිණීමේදී, ප.ව. 4.15 ට වවුනියාව බස් නැවතුම්පොළේ වෙන් කරන ලද ස්ථානයේ නතර කර ධාවන සටහන් පත්‍රය ලියාපදිංචි කර, ප.ව. 4.45 ට පිටත්ව ප.ව. 5.00 ට පිටත නැවතුම්පොළෙන් කිලිනොච්චිය බලා ධාවනය විය යුතුය.
* තවද, බස් රථයේ සේවය කරන රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ නාම ලේඛනය මාර්ග බලපත්‍රයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කර තිබිය යුතු අතර, ඔවුන් තම වෘත්තීය අනන්‍යතා කාඩ්පත පැළඳ සිටීම ද අනිවාර්ය කර ඇත.
පොදු ප්‍රවාහන සේවයේ නිරත වන විට මගීන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි සහ අධිකාරියේ රීතීන්ට අනුකූලව ස්වයං විනයකින් යුතුව කටයුතු කළ යුතු බවට දැඩි උපදෙස් ලබා දී ඇත.
පොදු ප්‍රවාහනයේදී මගීන්ට අනාරක්ෂිත තත්ත්වයන්, මාර්ග ප්‍රවාහන නීති උල්ලංඝනය කිරීම් හෝ කොන්දොස්තරවරුන් සහ රියදුරන්ගේ අයෝග්‍ය හැසිරීම් නිරීක්ෂණය වුවහොත්, කිසිදු පැකිලීමකින් තොරව පැමිණිලි කළ හැකිය. මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් සුදුසු සාක්ෂි (ප්‍රවේශ පත්‍ර, ඡායාරූප හෝ වීඩියෝ දර්ශන) සහිතව 071 9090900 යන වට්ස්ඇප් (WhatsApp) අංකයට වහාම දැනුම් දෙන ලෙස උතුරු පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


