පසුගිය වසරේ ඇති වූ ‘දිත්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ පූවරසන්කුලම් – චෙට්ටිකුලම් ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් සිදු කරනු ලබයි. මෙලෙස වේගයෙන් සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද දින (2026.06.05) සිකුරාදා එම ස්ථානයට ගොස් ක්ෂේත්‍ර පරීක්ෂාවක නිරත වූහ.
‘දිත්වා’ ආපදාවේ දරුණු බලපෑම හේතුවෙන්, පූවරසන්කුලම් – චෙට්ටිකුලම් ප්‍රධාන මාර්ගයේ කොටසක කාපට් තට්ටුව (තාර තට්ටුව) සම්පූර්ණයෙන්ම ගැලවී අසල තිබූ කුඹුරට ගසාගෙන ගොස් තිබුණි. මේ හේතුවෙන් මහජනතාවට ගමනාගමනය සඳහා භාවිතා කිරීමට නොහැකි වන පරිදි දැඩි ලෙස හානියට පත්ව තිබූ මෙම මාර්ගය, මේ වන විට උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 7ක පිරිවැයක් දරමින් ප්‍රතිසංස්කරණය වෙමින් පවතී.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සහ මාර්ගයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ගරු ආණ්ඩුකාරතුමා සමඟ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, වවුනියාව දිස්ත්‍රික් ලේකම්, උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ, පළාත් පාලන සහකාර කොමසාරිස් සහ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ඉංජිනේරුවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





