Skip to main content

Northern Provincial Council

යුරෝපීය සංගමයේ තානාපතිනිය ප්‍රමුඛ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ නෙදර්ලන්තය යන රටවල තානාපතිවරු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡා පවත්වති.

“යුද්ධය අවසන් වී ඇත. නැවතත් යුද්ධයක් ඇති වේ යැයි මා විශ්වාස කරන්නේ නැත. හමුදාව භාරයේ පවතින මහජනතාවගේ ඉඩම් නැවත එම ජනතාවටම බාරදීමේදී, දකුණේ ඇතැම් පිරිස් ‘හමුදාවේ ඉඩම් ජනතාවට ලබාදෙන බවට’ ජාතිවාදී අරමුණින් හඬ නඟති. නමුත් හමුදාව නිදහස් කරන්නේ එම ජනතාවගේ පාරම්පරික ඉඩම් මිස හමුදාව සතු ඉඩම් නොවේ. මෙම රජය මහජනතාවගේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියටත් පවත්වාගෙන යනු ඇත,” යනුවෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පැවසීය.

යුරෝපීය සංගමයේ තානාපතිනිය ප්‍රමුඛ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ නෙදර්ලන්තය යන රටවල තානාපතිවරුන් අද (2026.07.21) අඟහරුවාදා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ආණ්ඩුකාරවරයා හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම හමුවේදී ආණ්ඩුකාරවරයා ඉහත සඳහන් අදහස් පළ කළේය.

උතුරු පළාතේ වත්මන් තත්ත්වය සහ එහි ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සෘජුවම සොයා බලා දැනගැනීම තමන්ගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව තානාපති නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.

ඊට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලයට වඩා වර්තමානයේ උතුරු පළාතේ සංවර්ධනය සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම් ඉහළ දමා ඇති බවයි. තවද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන කටයුතු පිළිබඳවද ඔහු පැහැදිලි කළේය.

විශේෂයෙන්ම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලයේ අත්පත් කරගත් ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් කමිටුවලදී අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳවද ආණ්ඩුකාරවරයා පැහැදිලි කිරීමක් කළේය. එසේම, ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම පිළිබඳවද පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා, රජය මෙම කරුණු ඉතා සුබවාදී සහ ධනාත්මක ආකල්පයකින් යුතුව ප්‍රවේශ වන බව සඳහන් කළේය.
තවද, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ සෙම්මනි සමූහ මිනීවළ කෑණීම් කටයුතු පිළිබඳවද යුරෝපීය සංගම් නියෝජිත පිරිස ආණ්ඩුකාරවරයාගෙන් විමසා සිටියහ.

උතුරු පළාතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, විශේෂයෙන් ඉන්දියානු සහයෝගිතාව සහිත ව්‍යාපෘති පිළිබඳවද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. කන්කසන්තුරේ වරාය සංවර්ධනය සඳහා ඉන්දීය රජයේ සහයෝගය, වරාය සංවර්ධනය කරනු ලබන ආකාරය, එහි අනාගත සැලසුම් සහ පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම හා ගුවන් සේවා පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

උතුරු පළාතේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද නියෝජිත පිරිස ආණ්ඩුකාරවරයාගෙන් විමසා සිටියහ. උතුරු පළාත කෘෂිකර්මාන්තය සහ ධීවර ක්ෂේත්‍රයන්හි ඉහළම සම්පත් සහිත ප්‍රදේශයක් බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා, එම ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සඳහා හොඳම අවස්ථා දැනටමත් පවතින බව ප්‍රකාශ කළේය. එමෙන්ම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හරහා උතුරු පළාතේ අලුතින් ආයෝජන කලාප තුනක් පිහිටුවීමට යෝජනා වී ඇති බවද ඔහු තානාපතිවරුන්ට පැහැදිලි කළේය.

මෙම වැදගත් සාකච්ඡාව සඳහා යුරෝපීය සංගමයේ තානාපතිනි අතිගරු කාර්මන් මොරේනෝ (Carmen Moreno), ජර්මානු තානාපති අතිගරු ආචාර්ය ෆීලික්ස් නියුමන් (Dr. Felix Neumann), ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert), ඉතාලි තානාපති අතිගරු දාමියානෝ ෆ්‍රැන්කොවිච් (Damiano Francovigh), නෙදර්ලන්ත තානාපති අතිගරු වීබේ ද බෝයර් (Wibe de Boer) යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. මොවුන් සමඟ යුරෝපීය සංගමයේ නිලධාරීන් වන නියෝජ්‍ය නියෝජිත ප්‍රධානී ගලියා අගිෂේවා මහත්මිය (Galya Agisheva),අංශ ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙස් (Dr. Johann Hesse), සන්නිවේදන සම්බන්ධීකාරක සාරා ෆොන්සේකා සිල්වා මෙනෙවිය (Sarah Fonseca Silva) යන මහත්ම මහත්මීන් මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් සහ ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ද සහභාගී වූහ.